අද ලොව විවිධ ආලෝලන වලින් ගැටුම්වලින් හා ඒ හේතු කොටගෙනම පැන නගින චිත්ත අවිවේකතා මානසික අසහන හා කටුක භාවයන්ගෙන්ද ගහණ වී ඇත. එවන් ලොවක වාසය කිරීමේ ඉරණමට ලක්ව සිටින නව යොවුන් පරපුර මෙන්ම වැඩිහිටියන්ගේද මනසෙහි සන්සුන් බව තැන්පත් බව හා මානසික විමුක්තිය පිහිටුවාලීම සඳහා අවශ්‍ය අසීමිත බලය ධම්මපදයෙහි අන්තර්ගතව ඇත්තේය. එවැනි සන්සුන් සහ තැන්පත් මනසක් වර්ධනය කරගැන්මට නව යොවුන් පරපුර මෙන්ම වැඩිහිටියන් ද බලවත් කැමැත්තක් දක්වති. ඔවුන්ගේ හදවතට හා බුද්ධියට හැම අතින්ම ගැලපෙන පරිදී ධම්මපද ගාථාවන්හි නිධාන කතා ගාථාවල තේරුම සහ සරළ ඉංග්‍රීසි පරිවර්තනයන්ද සමග මෙම කෘතිය ඔවුන් අතට පිළිගන්වන්නට දරා ඇති උත්සාහය ඉතා විශිෂ්ට බව කිව යුතුය. මෙම ග්‍රන්ථය මුළුමනින්ම නිර්මාණය වී තිබෙන්නේ ධම්මපද ගාථාවලින් ඉදිරිපත් කෙරෙන සිතිවිලි හා දහම් කරුණු නිරවුල්ව පැහැදිලිව හා රසවත්ව අවබෝධ කර ගැනීමට පාඨකයාට මගපෑදෙන අයුරින් බව විශේෂයෙන් සඳහන් කරමි