ස්‌ත්‍රී ලිංගික මනෝ මූල ධර්මවාදීන් සිටින සමාජයකට මෙම කෘතිය වහ කදුරුය. මෙය ලියා ප්‍රකාශ කිරීමෙන් පසු එකී කටුක යථාර්තය මම පුරුෂ පක්ෂයෙන් අත්වින්දෙමි. එහෙත් රටපුරා විසිරී සිටින කාන්තාවන් මෙදෙස බැලුවේ සංවේදී හදෙනි. ඔවුහු මෙය කියවා තෙවන මුද්‍රණයක් සඳහා මා දිරිමත් කළහ. වාරිස් ඩයිරිට අනුව අප්‍රිකානු සමාජයේ ස්ත්‍රිය පුරුෂාධිපත්‍යය නැමැති බෙලහීන උන්මාදයට ගොදුරු වූ අජීවී වස්තුවකි. ස්ත‍්‍රියට ක්‍රෑර වධ හිංසා කරමින් ලිංග ඡේදනය කරනුයේ එම සමාජයේ වැඩිහිටි කාන්තාවන්ය. එකී වැඩිහිටි කාන්තාවෝ ද කුඩා කල ලිංග ඡේදනයට ගොදුරු වූවෝ වෙති. එය කටුක අත්දැකීමක් වී නම් ඔවුන් දෙවන පරපුර සඳහා එකී වධබන්ධනය දායාද කරන්නේ ඇයිද යන පැනය තුළ මා නිරුත්තරය. අප සමාජය ඉහතින් දැක්වූ ක්‍රෑර හිංසනයෙන් එහා ගිය පුරුෂයන් වෙසෙන සමාජයකි. ඔවුහු ලිංග ඡේදනය නොකළත් ස්ත්‍රිය පණ පිටින් පුළුස්සන, මරණ, කපන කොටන ජන කොටසකි. මුස්ලිම් ලෝකයේ හැර අනෙක් බොහෝ සමාජවල වෛශ්‍යාව නම්‍ය අනම්‍ය වශයෙන් නෛතිකය. අප සමාජයේ පමණක් එය තහනම් මාතෘකාවකි. එය තහනම් වීමෙන් සිදුවන්නේ ලෙඩ දුක් පැතිරීම සූරාකෑම සහ ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයේ ලිංගික අනන්‍යතාව කර ඇඹීමයි