සවස ඉර ගිනි පාන ගොම්මන් කළුවෙන් ගම වැසී යන පැයේ, කතරගමේ හාන්දුරුවන්නේ හය හමාරේ පූජා ඝණ්ටාව ඇඬවෙයි. එම හඬ ඈත මහ හිමේ නිහඬ ව ගිම් නිවන වන පෙත සිසාරා ගිල්ම යන්නේ, මසිත සංකාවෙක ගිල්වමිනි. එය මේ මහා වන අරණේ ඇවතුම්-පැවතුම් තීන්දු කරන සොඛාදම් මාතාවගේ සම්මත ලකුණයි. ඇද්දිට්ටියක් මානේ පැතිරගත් වන පෙත අස්සේ සැඟව ගිය මහා වනස්පතීන්, වැව්, අමුණු, ගල්කුළු, ඇළ-දොළ-ගංගා, විහාර-ආරාම, සතා-සීපාවා මේ නියත විරාමයේ පංගුකරුවෝ ය. නියත නැකතක සමස්ත ජීව-අජිව පරිසරය එකම හුයෙන් බැඳෙන මහා බලසම්පන්න හෝරාවයි මේ. එවන් වූ මේ හඬ, මයෙ පෙම්වතාගේ දෙසවන් මත වැටෙනු නියත ය. මා, මයෙ දුක හුදෙකලාව ඔහුට කියන්නැයි සිතින් ඝණ්ටා නාදයට අඬගා කියන්නේ එනිසා ය