මා 'බලන් කඩතුරා හැර දෑසේ' නවකතාව ලිවීම ඇරඹුවේ පාසලින් සමුගෙන රැකියා විරහිතව සිටි කිසියම් අවිනිශ්චිත - ගන්ධබ්බ කාල වකවානුවක දී ය. එකල මා ඇසූ දුටු කුඩා සිද්ධියක් පාදකව සිතේ හටගත් මේ කලලයට විවිධ උපකල්පනයන් ඔස්සේ මෝරා වැඩෙන්නට ඉඩ හරිමින් කරදාසිවල ලියා තැබුවේ මුද්‍රිත කෘතියක් ලෙස කලඑළිගැන්වීමට සිහිනෙනුදු නොසිතාය. එහෙත් අත්පිටපත ලියා, කියවා සංශෝධන ද සිදු කිරීමෙන් අනතුරුව මෙය ප්‍රකාශයට පත්කිරීමේ අභිලාෂයක් සිතේ කොනක මතුවෙමින්, අහෝසිවෙමින් පැවතිණ. එසේ වුව ද මෙය මුද්‍රණයට තරම් සෑහේ ද? යන විචිකිච්ඡාව නිරතුරුව මට කරදර කළේ ය. අත්පිටපත කියවා මා කිසියම් ආකාරයක සෑහීමකට පත්වුණ ද පාඨකයන් විසින් මෙය පිළිගනු ලබද්ද? යන සැකයෙන් මම නිරතුරුවම මැඬුණෙමි. එවකට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවය කළ කරුණාසේන ජයලත් ලේඛකයාණන් වෙත මේ අත්පිටපත ඉදිරිපත් කළ යුතු යැයි මට සිතුණේ ඉන් අනතුරුව ය