Product Code: EPA236
සැළකිය යුතු අධ්‍යාපනයක් ලබා ඇති, තරුණ රූමත් දියණියක් සිටින දෙමාපියන් නිතරම සිටින්නේ තම දියණියගේ අනාගතය ගැන සිතමිනි. එවැනි අවස්ථාවක දී හදිසියේ පියා මිය ගියහොත් මවටත්, දියණියටත් මහත් කම්පනයක් ඇති වීම ස්වභාවික ය. ඔවුන්ගේ වේදනාව, දුක දැන හැඳින ගන්නේ එවැනි අවස්ථාවකට මුහුණ දුන් අය පමණි. සෙසු අයට එය සාමාන්‍ය දෙයක් වශයෙන් දැනුණ ද මගේ මෙම කතාවේ සඳහන් වන මවත්, දියණියත් ජිවත් වන්නේ මහත් බියකිනි. කොයි මොහොතේ හෝ ඔවුන්ට අනතුරක් ඇතිවිය හැකි යැයි සිතමිනි.
තනි වූ මව ඇගේ දියණියගේ අනාගතය යහපත් කිරීමට සෑම උත්සාහයක් ම ගන්නේ සිත තුළ ඇති වේදනාව තවත් කෙනෙකුට නොකියමිණි. උගත්කමක් ඇති තම දියණියට ගැළපෙන රැකියාවක්, ගැළපෙන විවාහයක් ලබාදීමට මව සිතා සිටින්නී ය. සුළු වැරදීමකින්, අතපසු වීමකින් දියණියගේ අනාගතය විනාශ වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. රූමත් දියණියක් වූ අනුෂ්කාගේ මව ජීවත් වන්නේ එම බියෙනි.