ලෝක විනාශය පිළිබඳ කුතුහලය ඈත අතීතයේ පටන් මිනිසා තුල පවතින්නකි. දාර්ශනිකයින්, ආගමික කතුවරුන්, විද්වතුන් පමණක් නොව සාමාන්‍ය ජනතාව පවා ලෝක විනාශය සිදුවන්නේ කෙලෙසින්ද යන්න පිළිබදව විවිධ මත දරති. එම මත වලින් බොහොමයක් යම් විද්‍යාත්මක පදනමක් මත නිර්මාණය වී ඇති නමුත් බොහෝ මත අවිද්‍යාව මත පදනම් වී ඇත. විවිධ ආගම් සහ දර්ශන තුල අන්තර්ගත ලෝක විනාශය පිළිබඳ සමහර මත විද්‍යාත්මක මත හා සංසන්දනය කිරීමේදී යම් යම් සමානතා හඳුනාගත හැක. මෙම ග්‍රන්ථය ලිවීමෙන් මා උත්සාහ කර ඇත්තේ ලොව පහල වූ විද්වතුන් විසින් ලෝක විනාශය පිලිබඳ අතීතයේදී හා වර්තමානයේදී ලෝකයේ මෙන්ම විශ්වයේ ද සිදු වූ හා සිදු වන සංසිද්ධින් අධ්‍යනය කර ඉදිරිපත් කර ඇති විද්‍යාත්මකව පිළිගත හැකි මත පිළිබඳ සැකෙවින් සාකච්ඡා කිරීමටයි. සමහර සංසිද්ධීන් ඉතා සංකීර්ණ විද්‍යාත්මක පැහැදිළි කිරීම් මත පදනම්වී ඇත. එහෙත් මෙහිදී මා විසින් එම සංසිද්ධීන් මෙන්ම එම සංසිද්ධීන්ට හේතුවන විද්‍යාත්මක කරුණු පිළිබඳ ඉතා සරළව ඕනෑම අධ්‍යාපන මට්ටමක පුද්ගලයකුට හෝ පාසැල් සිසුවකුට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි පරිදි පැහැදිළි කිරීමට උත්සාහ කර ඇත. මෙහි සාකච්ඡා කර ඇති සමහර විද්‍යාත්මක සංසිද්ධීන් සිදු වන ආකාරය පිළිබඳ සත්‍ය වශයෙන් අධ්‍යනය කිරීමට අපහසු බැවින් එවැනි සංසිද්ධීන් පරිගනක ආකෘති භාවිතයෙන් පැහැදිළි කර ඇත. එයින් අදහස් වන්නේ මෙහි සාකච්ඡා කර ඇති සමහර විද්‍යාත්මක කරුණු සියයට සියයක්ම නිවැරදි නොවිය හැකි බවයි. එකම සංසිද්ධීයක් පිළිබඳව විවිධ විද්‍යාඥයින් විසින් වෙනස් අර්ථකථන දී තිබිය හැක. එහෙත් මෙහිදී මා හැකි පමණ උත්සාහකර ඇත්තේ විද්‍යාත්මකව වඩාත් පිළිගත හැකි එමෙන්ම විද්‍යාත්මකව ඔප්පු කළ හැකි කරුණු අනුසාරයෙන් ලෝක විනාශය සිදු වන ආකාර පිළිබඳව පැහැදිළි කිරීමටයි