"මේ මවිතකර පොතට මා පෙරවදනක් ලියන්නේ ඉමහත් සතුටිනි. කතුවරයාගේ ජීවිතයේදී එක දිගට ගෙවුණු අන්තරායකර සිද්ධීන් පිරුණු මෙහි එන සත්‍ය කතා නිසැකවම මේ දක්වා ලියැවුණු අසාමාන්‍ය පොතකි. මේ ආකාරයේ උද්වේගකර හා අන්තරායකර ජීවිතයක් මම කිසිදා දැක නැත්තෙමි. විස්වාස කළ නොහැකි, නොසැලකිලිවන්ත බිය හා ලොමු ඩැහැගැන්වෙන පණ බේරා ගැනීම් මෙහි පිරී ඇත. කතුවරයා පෙනුමෙන් නිහතමානී, වැදගත්, නිහඬ පුද්ගලයෙකි. ඒ මහත්මා පෙනුම යට මොන තරම් ගින්නක් තැන්පත් වී ඇති ද? නැඟෙනහිර අප්‍රිකානු යුද්ධයේදී මේජර් ප්‍රිටෝරියස් මගේ හමුදාවේ ප්‍රධාන ඔත්තුකරු විය. මම ඔහු කලින් දැන නොසිටියෙමි. මට ඔහු ගැන දැන ගන්නට ලැබුණේ 1914 අවසාන භාගයේදීය. ජර්මානු නැඟෙනහිර අප්‍රිකාවේ අලින් දඩයමේ නිරත ප්‍රිටෝරියස් නමැත්තකු පිළිබඳ යුද කාර්යාලය මගෙන් විමසීමක් කළේ මා අප්‍රිකානු සංගමයේ ආරක්ෂක ඇමතිවරයා වූ නිසාය. ඔහු සතුරු ඒජන්තයකු හැටියට සැකයට බඳුන් වී සිටියේය. සැන්සිබාර්හිදී "" පෙගාසස්'' ගිල්වා දමා රුෆිජි ඩෙල්ටාවේ සැඟව ගත් ජර්මානු යුද නැව වූ "" කෝනින්ස්බර්ග්'' සොයා ගැනීමට නාවික හමුදාවට ඔහුගේ සහාය අවශ්‍ය වී තිබිණි. ඒ පිළිබඳ කතාව ප්‍රිටෝරියස් මෙහි කදිමට ලියා ඇත"