සාහිත්‍ය අහසේ හිරුට සඳුට සම කළ හැකි සාහිත්‍යධරයකුගේ සාහිත්‍ය සේවාව පිළිබඳ විමර්ශනයක යෙදිය හැකි වන්නේ ඔහු හා සමතලයක රැඳී සිටින්නකුට ය. එහෙත් දිගින් දිගට ම එවැන්නකු අතින් ඒ මෙහෙවර ඉටු නොවන කල, ඒ වෙනුවෙන් තරු එළියක් හෝ විහිදුවීමට අනෙකකුට සිදු වේ. මේ උත්සාහය ද ඒ තරු එළියට සමාන ය. මෙය විචාර කෘතියක් හෝ ශාස්ත්‍රීය නිබන්ධයක් වශයෙන් හැඳින්වීමට මම යොමු නො වෙමි. කේ. ජයතිලකයන්ගේ කෘති හා ලේඛන පරිශීලනයෙන් මා ලැබූ රසවින්දනය ප්‍රධාන කොට ඒවායේ ගැඹුරු හා සියුම් ඉම් පෙදෙස් කරා ළඟා වීමට දැරූ උත්සාහය අතරතුර මා ලද වින්දනයේ අපූර්වත්වය, සහෘද පාඨකයන් හා බෙදා හදා ගැනීමට දැරූ උත්සාහයක් වශයෙන් මෙය හැඳින්වීමට ය, මා වඩාත් කැමති වන්නේ